අද(11) උදෑසන 07.50ට හෝමාගම සිට නියමිත මගීන් රැගත් දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට ළඟා වී තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින්ට සිය සේවා ස්ථානවලට පැමිණීම සඳහා අද (11) සිට පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක වෙයි. 

ඒ අනුව බෙලිඅත්ත, නුවර, අවිස්සාවේල්ල,මහව,සහ හලාවත සිට දුම්රිය 10ක් කොළඹට පැමිණෙයි. 

රජයේ සේවකයින් සිය පෞද්ගලික වාහනවලින් හෝ ආයතන වාහන මඟින් කාර්යාලවලට පැමිණෙන්නේ නම් උදෑසන 8.30 ට පෙර සේවා ස්ථානයට පැමිණිය යුතුයි.

පස්වරු 3 ත් 4 ත් අතර කාලය තුළ නැවත එම රථ පිටත්ව යා යුතු වෙයි.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් පැමිණෙන වාහන ද උදෑසන 8.30 ත් 10 ත් අතර කාලය තුළ ආයතනයට පැමිණිය යුතු අතර සවස 4 ත් 5 අතර කාලය තුළ නැවත පිටත්ව යායුතුයි.

කර්මාන්ත ශාලා කටයුතු සඳහා සහ සේවා මුර වශයෙන් පවත්වාගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා එම වේලාවන් අදාළ වන්නේ නැහැ.

මේ අතර අද සිට ත්‍රිරෝද රථ ධාවනයට ද අවස්ථාව හිමිවන අතර එහි උපරිම ගමන් කළ හැක්කේ රියදුරු හැර වැඩිහිටියන් දෙදෙනෙකුට පමණයි.

එමෙන්ම කුලී මෝටර් රථ සඳහා ද අවසර ලබා දෙන අතර රියදුරු හැර උපරිම වැඩිහිටියන් තිදෙනෙකුට එක් රථයක ගමන් කිරිමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දි ඇත්තේ, අද සිට සති දෙකක් යන තෙක් සාමාන්‍ය ජනතාව සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසිමෙන් වලකින ලෙසයි. 

අධිවේගි මාර්ග ද සාමාන්‍ය පරිදි යළි විවෘත වෙයි.

ඒ සඳහා දිවයින පුරා පැවති සූදානම සම්බන්ධයෙන් අප විමසා බැලුවේය.

මේ  අතර  ඇඳිරි නීතිය ඉවත් කරිමත් සමග අද අළුයම සිටම සිය  රාජකාරි කටයුතු සහ සිය දෛනික කටයුතු වෙනුවෙන්  හම්බන්තොට නගරය  වෙතත් ජනතාව පැමිණියේය.

කොට්ටාව නගරයටද සිය රැකි රක්ෂා කටයුතු වලට මෙන්ම දෛනික කටයුතු වෙනුවෙන් ජනතාව පැමිණෙන ආකාරය දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here